
අඟහරු මතට ගොඩබැසීම ඉතා අසීරු කාර්යයකි. අඟහරු මතට ගොඩබැසීමට යැවූ අභ්‍යවකාශ යානා අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් ආරක්ෂිතව ගොඩබැසීමට අසමත් වූ අතර ඒ කඩා වැටුණු යානා පසු කාලීනව අඟහරුගේ කක්ෂයේ පවතින ප්‍රභල කැමරාවක් අඩංගු Mars Reconnaissance Orbiter යානයෙන් සොයා ගැනීමට සමත් ව ඇත.

නමුත් අඟහරු මත වාර්තා පිට වාර්තා තබමින් පියාසර කරන නාසා ආයතනයේ Ingenuity හෙලිකොප්ටරය පසුගිය සතියේදී කඩා වැටුණු පීරිසියක් වැනි යානයක කොටසක් ඡායාරූපගත කිරීමට සමත්ව ඇත. කෙසේ නමුත් ඒ පැරණි යානයක් නොවේ. මේ දැක්වෙන්නේ මීට වසරකට පෙර Ingenuity හෙලිකොප්ටරය රැගත් Perseverance රෝවරය අඟහරු මතට ගොඩබැසීමට උපකාර කළ Mars 2020 අභ්‍යවකාශ යානයේ පසුපස ආවරණය (Backshell) සහ එයට සම්බන්ධ පැරෂුට් එකයි.

අඟහරුගේ වායුගෝලය ඉතා තුනී නිසා පැරෂුට් එකකින් අභ්‍යවකාශ යානයක් සුමට ලෙස ගොඩබැසීමට තරම් වේගය අඩු කර දෙන්නේ නැත. ඒ නිසා Perseverance රෝවරය ගොඩබැසීමේ අවසන් මොහොතේදී පැරෂුට් එක සම්බන්ධ කර ඇති යානයේ පසුපස ආවරණයෙන් වෙන් වී රොකට් එන්ජින් සහිත ගොඩබැසීමේ අදියර (Decent Stage) යොදා ගනිමින් අඟහරු මතට සුමටව ගොඩබසින ලදී. පැරෂුට් එකට සම්බන්ධ පසුපස ආවරණය රෝවරය ගොඩබැස්ස ස්ථානයට මඳක් දුරින් අගහරු මතට කඩා වැටුණි. අඟහරුගේ වායුගෝලය තුළ පැරෂුට් මගින් ඒ තරම් වේගයක් අඩු කර දෙන්නේ නැති බව පසුපස ආවරණය කඩා වැටීමේදී සිදු වී ඇති හානිවලින් දැක ගත හැක.
Perseverance රෝවරය මේ වන විට ජෙසරෝ ආවාටයේ වියළී ගිය ගංගා ඩෙල්ටාව බලා ගමන් කරමින් පවතී. සන්නිවේදනය පවත්වා ගත යුතු නිසා Ingenuity හෙලිකොප්ටරයත් රෝවරය පසුපසින් පැමිණේ. එහිදී රෝවරය ගමන් කළ මාර්ගයෙන් මඳක් දුරින් පසුපස ආවරණය සහ පැරෂුට් එක තිබුණි. විද්‍යාත්මක ඉලක්ක වෙත අවධානය යොමු කළ යුතු නිසා රෝවරය ඒ අසළට යැව්වේ නැත. නමුත් අඟහරුගේ සාම්පල් ගෙන එන මෙහෙයුමට සම්බන්ධ ඉන්ජිනේරුවන් විසින් ගොඩබැසීමෙන් පසු පැරෂුට් එකට සහ පසුපස ආවරණයට සිදු වූ දෙය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසූ නිසා Ingenuity හෙලිකොප්ටරය එයට ඉහළින් පියාසර කරවීමට තීරණය කරන ලදී.
ඒ අනුව හෙලිකොප්ටරය තම 26 වන පියාසැරිය ලෙසින් අප්‍රේල් 20 වනදා මීටර් 8 ක් ඉහළින් පැරෂුට් එක සම්බන්ධ පසුපස ආවරණය අසළින් පියාසර කරවන ලදී. මෙහිදී ලබාගත් ඡායාරූපවලින් යානය අඟහරුගේ වායුගෝලයට ඇතුළු වීමේදී ඇති වන අධික තාපයෙන් කෙතරම් හානි සිදුවී ඇත්දැයි නිගමනය කරන අතර පැරෂුට් එකේ කැඩුණු කේබල් තිබේදැයි සොයා බලනු ඇත. මෙම දත්ත සාම්පල් ගෙන එන යානයේ ගොඩබැසීමේ පද්ධතිය මනා ලෙස සැකසීමට උපකාර වනු ඇත.
share :